Friday, September 14, 2018

සකලකලා වල්ලභ හෙවත් අස්වානේ දෙවියෝ Sakalakala Wallabha or The God of Aswana

සකල කලාවට අධිපති යැයි සැලකූ
රණශූර සකලකලා වල්ලභ රජතුමා
සකලකලා වල්ලභ රජු යැයි කී පමණින් අපේ රාජාවලියේ එවැනි නමත් තැතැ යි ඔබ කියාවි. නමුත් සත්‍ය වශයෙන් ම, සකලකලා වල්ලභ රජු යනු කෝට්ටේ රාජධානියේ රජකළ අම්බුලුගල කුමාරයා හෙවත් අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ (1484-1518), වැඩිමහල් පුතණුවන්. වීර පරාක්‍රමබාහු රජුගේ අගබිසව වූ කීරවැල්ලේ බිසවගේ නැගෙණියගේ කුසින් උපන් මෙතුමා, ගේම සහෝදරයා තමයි තනියවල්ලභ කුමාරයා. (අග බිසව වූ කීරවැල්ලේ බිසවගේ කුසින් උපන් ධර්ම පරාක්‍රමබාහු, විජයබාහු හා රාජසිංහ මෙතුමාට ඥාති සොහොයුරන් වේ.)
අටවන වීර පරාක්‍රමබාහු රජු තම පුත් කුමරුන් පස්දෙනා ම ලක්දිව විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය රජවරු ලෙස පත් කළේ මෙලෙස ය. (ධර්ම පරාක්‍රමබාහු - කොළඹ, විජයබාහු - දෙවුන්දර, රාජසිංහ - සත්කෝරලය, සකලකලා වල්ලභ ගම්පහ ප්‍රදේශයේ උඩුගම්පොළටද තනියවල්ලභ - හලාවත -කටුපිටි මාදම්පේ)
අතිදක්ෂ රණශූරයකු වූ මෙතුමා ගායන, වාදන. නර්තන විෂයෙහිත් අතිදක්ෂයකු බව සඳහන්. ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශය  කේන්ද්‍රකරගත් ප්‍රාදේශීය රජෙක් වුවත් මෙතුමාගේ රණශූරත්වය  රාජාවලිය, අලකේෂ්වර යුද්ධය වගේ ඓත්හාසික මූලාශ්‍රවලත් සඳහන් වී තිබේ. එමෙන් ම එතුමාගේ කලාකාමීත්වය ප්‍රාදේශීය ජනකතාවල මෙන් ම කංකාරි ප්‍රවාද හා වෙනත් ශාන්තිකර්ම මූලාශ්‍රවලත් සඳහන් වේ.
පිය රජුලේ මරණින් පසු ව, අගබිසවගේ පුතණුවන් නවවන ධර්ම පරාක්‍රමබාහු කෝට්ටේ රජ විය. මූලාශ්‍ර වලට අනුව, එම රජුගේ මරණින් පසුව කෝට්වේ රජකම සකලකලා වල්ලභ කුමරුට ලබා දීමට කෝට්ටේ රාජසභාව ගත් තීරණයකට අනුව උඩුගම්පොලට පැමිණි රාජසභා නියෝජිතයන් මහ පෙරහරින් කුමරු අගනුවරට කැඳවාගෙන ගිය ද එතුමා සිහසුන භාරගැනීම ප්‍රතික්ෂේප කළ බව කියැවේ. අගබිසවගේ පුත් විජයබාහු කුමරුට රාජ්‍යය පවරා දී ආපසු යාමට කුමරු තීරණය කලේ මන්ද යන්න ව්වාදාත්මක ය. (තමන් පිය රජුගේ පුතුන් පස්දෙනාගෙන් ම වැඩිමහල්ලා වුව ද, තමා අගබිසවගේ පුත්‍රයකු නොවීම, තම බිරිඳ රජක කුළ ස්ත්‍රියක විම (නීත්‍යානුකූල විවාහ වීමක තොරතුරු නැත) හා ඒ වන විට පැවැති දුර්වල සෞඛ්‍ය තත්වය ද මෙයට හේතු වන්නට ඇත.)
එතුමා කළාකාමියකු වාගේ ම, අතිදක්ෂ වාරි ඉන්ජිනේරුවෙකි. වෑගොව්ව, මිනුවන්ගොඩ හරහා යන කුඩා ඔය හරස්කර (අත්තනගලු ඔයේ ශාඛාවකි.) වේල්ලක් ඉඳිකර (අස්වාන් වේල්ල), වැවක් බැඳ (අස්වාන වැව)  රජුගේ මඟුල් පොකුණට ජලය ගෙන්වීය. මේ පොකුණ ආසියාවේ විශාලත ම දිය නාන පොකුණ ලෙස සැලකේ. රජුගේ ප්‍රධාන වාරි කර්මාන්තය ලෙස හඳුන් ගඟ වක්කලම නම් ස්ථානයේ පිහිටි වැලි කුඹුර වැව සැලකේ. මීට අමතර ව, නාගහ වැව, ගොඩ වැව, කොරස වැව මෙතුමාගේ නිර්මාණයන් ය. මේ සියල්ලට ම ජලය බෙදා හැර ඇත්තේ මාබොඳල වැව මඟිනි. එතැනින් නොනැවතී උඩුගම්පොළ රාජධානියට අයත් වුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත කියන ප්‍රදේශවලත් වාරි කර්මාන්ත මඟින් ජලය ලබාගෙන වී ගොවිතැන සාර්ථකව කරවන්න සකලකලා වල්ලභයක් කටයුතු කර තිබේ.

නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන

Friday, August 24, 2018

රණවන රජමහ විහාරය (Ranawana Rajamaha Viharaya)

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ, නානුඹය දුම්රිය හරස් මාර්ගය අසලින් වමට හැරී, සැතපුමක් පමණ ගිය විට, රමණීය කඳුගැටයක් මත පිහිටි ඓතිහාසික රණවන රජමහ විහාරයට පිවිසිය හැකි ය. ස්වාභාවික කඳුකර වෘක්ෂලතාවන්ගෙන් අනූන සුන්දර වන ලැහැබක මෙම සෙනසුන පිහිටා ඇත.
ආසියාවේ උසම සක්මන් බුදු පිළිමය
මෙම ස්ථානය මූලිකව ම ආරම්භ කර ඇත්තේ රණවන මොහොට්ටාල නැමැත්තෙකු විසින් බව, ඔහුගේ පුතා වූ රණවන වෙදරාළට, ශකවර්ෂ 1602 දී ලබා දුන් රන් සන්නසේ දැක්වෙන බව ඉතිහාසයේ සඳහන් වේ. පසුව අනුරාධපුරයට පැමිණි රණවන වෙදරාළ මෙම විස්තරය IVවන බුවනෙකබාහු රජ දවස, හෙණකඳ බිසෝබණ්ඩාර දේවියට සැලකර ඇත. එතුමිය  සතුටු ව, මෙම විහාරස්ථානය නැවත සකස්කරවා නව හිමි නමකට භාරකාරත්වය පැවරූ බව කියැවේ. 
සාංචි තොරණ සිහිකරවන පිවිසුම් දොරටුව
මෑත භාගයේ දී මෙම විහාරස්ථානය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ආසියාවේ උසම සක්මන් බුදු පිළිමය මෙම විහාරස්ථානය සතුවීම නිසා ය.
මීට අමතර ව ඉන්දියාවේ සාංචි තොරණේ උතුරු පැත්තේ අනුරුවක් ලෙස ඉදිකළ ප්‍රධාන පිවිසුම්  දොරටුව ද අගනා නිර්මාණයකි. මෙහි නියම සාංචි තොරණේ සියලු කැටයම් නො අඩුව පැවතීම විශේෂත්වයකි.
දීපංකර බුදු හිමි පුලිල බෝධි මුල
කටාරම් කෙටූ ගල් ලෙන තුළ ඇති
චෛත්‍යය හා පසකින් පෙනෙන බෝධිය
එමෙන් ම, සිංහල බෝධි වංශයේ හා සූත්‍ර පිටකයේ අඩංගු කරුණු නො ඉක්මවමින් ඉදිකළ අටවිසි බෝධි පාමුල අටවිසි බුදු පිළිමවහන්සෙලා ද ඉතා වටිනා නිර්මාණයකි. රණවන විහාරයේ සුවිශේෂත්වය වූ ලංකාවේ එකම සක්මන් බුදු පිළිමය ප්‍රමුඛව ඉදිකර ඇති අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ප්‍රතිමාද සුවිශේෂ වන්නේ, ඒවා ශාසන ඉතිහාසය ප්‍රවේශමින් අධ්‍යයනයකර ඉතා නිවැරදි රූප ලක්ෂණ සහිත ව ඉදිකර තිබීමයි. තව ද බුදු සිරිතේ විවිධ 
නිවැරදිව අඹා ඇති මුගලන් හා
මහා කාශ්‍යප මහතෙරවරු
අවස්ථා වන සෙනසුන තුළ මුර්ති ලෙස ඉඳිකර තිබීම ද කාගේත් සිත්
පිනවන දසුන් මවයි. මේ මූර්ති අතර
දළදාව මෙරටට වැඩමවීම, වෙස්සන්තර රජු දරුවන් දන් දීම, පාරිලෙය්‍ය ඇතුගෙන් උවටැන් ලබන බුදු හිමි කැපී පෙනේ.
රණවන විහාරයේ වත්මන් විහාරාධිපති වන්නේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික අම්පිටියේ ශ්‍රී සරණංකර චන්ද්‍රජෝති නා හිමිපාණෝ ය.
(ටැම්පිටියේ ඉන්දවිමල හිමි හා වතුකුඹුරේ ඤාණවිමල හිමිගේ ඓතිහාසික රණවන පුරාණ රජමහ විහාරය නම් කෘතිය ඇසුරින් ලියූයේ යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න විසිනි. මුල් කර්තෘන්ට අපගේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව හිමි වේ.)

Monday, July 24, 2017

මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය

මැකුණු අතීතයක නොමැකෙන සිහිවටනයක් මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය (සටහන සහ ඡායාරූප – බර්ටි ලයනල් )

මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරය කේන්ද්‍රකොට පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයකි.

විහාර මන්දිරය ජනප්‍රවාදයනට අනුව මෙහි ඉතිහාසය කැලණිතිස්ස රජ සමය දක්වා දිවයයි. කැලණි මහා විහාරය ඉදිකර ඉතිරි වූ ගඩොලින් මෙම මහා සෑය ගොඩනැඟූ බවට මතයක් පවතී. 
ඒ අනුව මෙම ස්ථානය ‘පුංචි කැලණිය’ යන නමින් හඳුන්වා ඇති බවද පැවසේ. අලංකාර පිළිම වහන්සේ කැලණිතිස්ස රාජ්‍ය සමයේ දී එතුමාගේ බාල සොහොයුරු වූ උත්තිය කුමරු දැනට උඩුගම්පල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ මාළිගාගොඩැල්ල විහාරය පිහිටි ස්ථානයෙහි මාළිගාවක් කරවා ප්‍රාදේශීය රජෙකු වශයෙන් පාලනය කළ බව පැවසේ.
 මෙම මිනුවන්ගොඩ විහාරය එම රජතුමාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද්දක් බව පැරැණ්නන්ගේ තවත් මතයයි. මෙසේ පැවතගෙන එන ලදුව නැවත වරක් රාජ්‍යය හා බැඳුනු සිද්ධස්ථානයක් වශයෙන් පැහැදිලිව සටහන් වන්නේ කෝට්ටේ යුගයේදී ය. එම යුගයේදී කෝට්ටේ රජකළ 8 වන වීරපරාක්‍රමබාහු රජතුමාගේ පුතෙකු වූ සකල කලා වල්ලභ කුමරු තම ප්‍රදේශය බතින් බුලතින් ස්වයංපෝෂිත කරවීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව කියැවේ. ඒ වෙනුවෙන් කරන ලද වාරිකර්මාන්ත කිරීමේ දී අස්වාන වැවේ බැම්ම කීප වරක්ම යම් යම් හේතු නිසා, කැඩී බිඳී ගිය බවත් එයින් බලවත් සේ සිත් තැවුලෙන් යුතුව සිටි රජතුමා එම සැඩ පහරටම පැන දිවි හානි කරගෙන ඇති බව ඓතිහාසික පුවතකි. රජු එසේ ජීවිතය විනාශ කරගත් බව දැනගත් බිසෝවරුන් ද එම සැඩ පහරටම පැන දිවි තුරන් කරගත් බවට ද රජතුමා ඇතුලු බිසෝවරුන් පැළඳ සිටි රන් රිදී ආභරණ ගසාගෙන විත් ගොඩ ගැසුනු ස්ථානය ‘මිනිරුවන්ගොඩ’ ලෙසින් නම්කර පසුව ‘මිනුවන්ගොඩ’ ලෙසින් ප්‍රචලිත වී ඇත. එම මිණිරුවන් ආභරණ තැන්පත් කර මෙම සෑය නැවත වරක් ඉදිකරන ලදැයි පැවසේ. කාල වකවානු තීරණය කළ නොහැකි පෞරාණික බෝධීන් වහන්සේත් වරින් වර අලුත් වෙමින් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේත් මෙම ස්ථානයේ දීර්ඝ ඉතිහාසය පුරා පැවැති පූජ්‍ය වස්තූන්ය. වත්මන් විහාර සංවර්ධන කටයුතුවලදී අතීතයේ සිට පැවත ආ ටැම්පිට විහාරය ඉවත් කර එම ස්ථානයෙහිම නව විහාර මන්දිරය ගොඩනැංවීමට කටයුතු සලසා ඇත. පැරැණි විහාරය තුළ නිර්මාණය කර තිබූ පැරැණිම බුද්ධ ප්‍රතිමා වහන්සේද ආරක්‍ෂා වන පරිදි නව විහාරය ඉදිකර ඇත.


ඉපැරණි බෝධීන් වහන්සේ කැලණි රාජ්‍ය යුගයේ පටන් දහනවවන සියවසේ මධ්‍යභාගය දක්වා විහාරස්ථානයේ වැඩසිටි සංඝපීතෘවරුන් පිළිබඳ ජනප්‍රවාදයන්ගෙන් එන තොරතුරු හැරෙන්නට ලිඛිත සටහන් නැත. මහර මේධංකර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වූ නිල්පනාගොඩ ධම්මානන්ද, වල්පල ගුණරතන, මැඩෑමුල්ලේ පේමානන්ද යන හිමිවරුන් ආසන්න සිසු පරපුරක් වශයෙන් හැඳින්විය හැකි ය.


මෙහි ක්‍රියාත්මක වන ඉරු දින දහම් පාසල වන ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඉතා පැරණි කාලයේ සිට ක්‍රියාත්මක වේ. එහි ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ලෙසින් ක්‍රියාකාරී වී සිටින ආඩිඅම්බලම සරණතිස්ස පිරිවෙන් උප ප්‍රධානාචාර්ය මිනු/ශාසනාරක්‍ෂක බල මණ්ඩල ලේඛකාධිකාරී ශාස්ත්‍රපති හැවනතැන්නේ ශීලරතන හිමිපාණන් ඇතුලු ගුරුභවතුන් සිසු දරු දැරියන් 1500 ක් වෙනුවෙන්ම කැපවී සිටීම අගය කළ යුතු වේ. මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ හිතසුව පිණිස සිදුකර ඇති වැදගත් මෙහෙයයන් අතර මිනුවන්ගොඩ, රෝහල ඉදිකිරීම සඳහා භූමියත්, නාලන්දා බාලිකා විද්‍යාලය පවතින භූමියත්, දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා නීලකෙන්ද ඉඩමක් රජයට පරිත්‍යාග කිරීම මහත් සමාජ සත්ක්‍රියාවන් ය. යුග ගනනාවක සිහිවටනයක් වූ චෛත්‍යය වත්මන් විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ ගරු කළ යුතු සංඝපීතෘවරයෙකි. ඈත අතීතයේ වැඩ විසූ මහර මේධංකර නායක හිමිපාණන්, ගරා වැටුණු මහ සෑ රදුන් ප්‍රතිසංස්කරණය කර හාල්මිටවලින් තැනු පඩිපෙළක් මතින් ගොස් කොත් පැළඳූ බව කියැවේ. මෙලෙසින් ප්‍රතිසංස්කරණය කැර මහ සෑ රදුන් වසර 150ට පසු 1955 වසරේ දී මනා ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත්තේ චන්ද්‍රාලෝක හිමිපාණන්ගේ යුගයේ දී ය.

වසර දහසක සිට පැවත එන මෙවන් ශ්‍රේෂ්ඨ සිද්ධස්ථාන රැකගනිමින් වසර දෙදහස් තුන්සියයක දීර්ඝ හා අභිමානවත් ඉතිහාසයක් ඇති මෙරට බුදු සසුනෙහි අභිවෘද්ධිය වෙනුවෙන් තම යුතුකම ඉටු කරන මහා සඟ පරපුර ගෞරවයෙන් සිහිපත් කළ යුතු වේ. 


සටහන : මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය පීළිබඳ මේ ලිපියේ අන්තර්ගතය මෙන් ම මෙහි එන සියලු ඡායාරූප ද මා හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදී බර්ටි ලයනල් මහත්මා විසින් 2011 පෙබරවාරි මස 02වන බදාදා බුදුසරණ පුවත්පතට ලියූ ලිපියකිනි. එතුමාට මෙන්ම  ලේක්හවුස් ආයතනයට ද අපගේ ප්‍රණාමය හිමි වේ. (නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන)

මුල් ලිපිය :
http://www.lakehouse.lk/budusarana/2011/02/02/tmp.asp?ID=temp01

Thursday, June 1, 2017

මිනුවන්ගොඩ උප නගරය : Minuwangoda Sub Town

(උපුටා ගැනීම http://minuwangoda.uc.gov.lk වෙබ් අඩවියෙනි, මුල් ලියුම්කරුට හා මිනුවන්ගොඩ නගර සභාවට අපගේ කෘතඥතාව හිම්වේ.)

මිනුවන්ගොඩ යනු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාම සේවා වසම් 126 ක් අයිති මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකි. 1976 ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් දිස්ත්‍රික්කයක් අනුමත වීමට ප්‍රථම මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උතුරු කොළඹටය. ඊටත් පෙර කාලයේ මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උඩුගම්පොළ රාජධානියටය. උඩුගම්පොළ රාජධානිය පාලනය වූයේ කෝට්ටේ රාජධානිය යටතේය.
අතීතයේ දී මිනුවන්ගොඩ අයත් වූ උඩුගම්පොල බල ප්‍රදේශය අදට වඩා විශාල බල ප්‍රදේශයක් විය. ඒ අනුව පුරාණයේ දී උඩුගම්පොළ රාජධානියේ එක් සීමාවක් අවසන් වී ඇත්තේ කැලණියෙනි. සියනෑ කෝරළය, අලුත්කූරු කෝරළය, හේවාගම් කෝරළය, හා සතර කෝරළය නැමති කෝරළ හතරම මෙම ප්‍රදේශයට යටත්ව තිබී ඇත. උතුරින් කැලණි ගඟ දක්වා ද දකුණින් මා ඔය දක්වා ද, බටහිරින් මහ මුහුද දක්වා ද නැගෙනහිරින් සබරගමුව දක්වා ද , මිනුවන්ගොඩ පාලනය වූ උඩුගම්පොළ රාජධානිය ව්‍යප්තව තිබූ බව පුරාණ ලේඛනවල සඳහන්ය.
එකල මෙම ප්‍රදේශය පාලනය කර ඇත්තේ 8 වන වීර පරාක්‍රමබාහු රජතුමන්ගේ පුතණුවන් වූ සකල කලා වල්ලභ රජු විසිනි.

“මිනුවන්ගොඩ” යැයි නමක් අතීතයේ දී තිබී නැත. මිනුවන්ගොඩ යැයි නම් ලැබී ඇත්තේ ක්‍රි.ව.1485 - 1505 කාලයේ ප්‍රථම වරට මිනුවන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ රජකම් කළ සකල කලා වල්ලභ රජතුමන් විසින් කුමරියන් සත්දෙනෙකු ඔයේ ගිල්වා මරා බිලි පූජාව තැබීම නිසාය.
උඩුගම්පොළ රාජධානිය කරමින් ප්‍රදේශයේ රජකම් කළ මේ රජතුමා යුද්ධයෙහි අති දක්ෂයෙකු වූ අතර එතුමා තැනූ පතහ පොකුණට අයත් වේල්ල වරින්වර කැඩී යාම නිසා ඉන් ප්‍රදේශය බේරා ගැනීමට නම් රූමත් කුමරියන් සත් දෙනෙකු ඔයට බිලි කළ යුතු බව රාජ සභාවේ දී ගත් තීරණයක් මත රජකුමරියන් සත් දෙනෙකු රන් අභරණින් සරසවා මිනුවන්ගොඩ ලෙස අද හඳුනන ප්‍රදේශයේ පිහිටි ඔය අසබඩට කැඳවා අවුත් කුමරියන් සත්දෙනා ඔයට බිලි කර දියේ ගිල්වා මරා මහා බිලි පූජාවක් පවත්වා ඇත. එම කුමරියන්ගේ ආභරණ පාවී ගොස් රැඳුන ස්ථානයට මිනිභරණගොඩ යැයි නම් තබා පසුව එය මිණිරුවන්ගොඩ නමින් ප්‍රසිද්ධ වී ඇත. අද මිනුවන්ගොඩ ලෙස හඳුන්වන්නේ මෙම කුමරියන්ගේ අභරණ ගොඩ ගැසූ ප්‍රදේශය වේ.

නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන

Wednesday, May 31, 2017

මම ගැන

මම නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන, ගම ගම්පහ. මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. විද්‍යාවේදී රසායන විද්‍යා උපාධිධාරියකු උනත්, සිංහලකම, අපේකම ගැන පුංචි කාලේ පටන් ම තියෙන කැක්කුම හින්ද ම, මගේ රට ගැන, අපේකම ගැන මගේ අදහස් ඔයාලා එක්ක  බෙදාගන්න කරන අහිංසක වෑයමක ප්‍රතිඵලය තමයි මේ.

I am Nadeeke Thanujaya, from Gampaha, Sri Lanka an old boy of Bandaranayaka College, Gampaha. Although I am a B.Sc (Chemisrty) graduate, this is a humble result of my suffer on my country, our heritages to exchange my views with you.

ඔයාලගෙ හොඳ නරක විවේචන වලින් මේ උත්සාහය ඔපමට්ටම් කරගන්න මට විශාල ශක්තියක් වේවි. (ලියන්න මට, uantr.aurora@gmail.com)
Your comments on this effort are highly appreciated, those will be a huge strength to me to sharpen my work. (e-mail, uantr.aurora@gmail.com)