Friday, September 14, 2018

සකලකලා වල්ලභ හෙවත් අස්වානේ දෙවියෝ Sakalakala Wallabha or The God of Aswana

සකල කලාවට අධිපති යැයි සැලකූ
රණශූර සකලකලා වල්ලභ රජතුමා
සකලකලා වල්ලභ රජු යැයි කී පමණින් අපේ රාජාවලියේ එවැනි නමත් තැතැ යි ඔබ කියාවි. නමුත් සත්‍ය වශයෙන් ම, සකලකලා වල්ලභ රජු යනු කෝට්ටේ රාජධානියේ රජකළ අම්බුලුගල කුමාරයා හෙවත් අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ (1484-1518), වැඩිමහල් පුතණුවන්. වීර පරාක්‍රමබාහු රජුගේ අගබිසව වූ කීරවැල්ලේ බිසවගේ නැගෙණියගේ කුසින් උපන් මෙතුමා, ගේම සහෝදරයා තමයි තනියවල්ලභ කුමාරයා. (අග බිසව වූ කීරවැල්ලේ බිසවගේ කුසින් උපන් ධර්ම පරාක්‍රමබාහු, විජයබාහු හා රාජසිංහ මෙතුමාට ඥාති සොහොයුරන් වේ.)
අටවන වීර පරාක්‍රමබාහු රජු තම පුත් කුමරුන් පස්දෙනා ම ලක්දිව විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය රජවරු ලෙස පත් කළේ මෙලෙස ය. (ධර්ම පරාක්‍රමබාහු - කොළඹ, විජයබාහු - දෙවුන්දර, රාජසිංහ - සත්කෝරලය, සකලකලා වල්ලභ ගම්පහ ප්‍රදේශයේ උඩුගම්පොළටද තනියවල්ලභ - හලාවත -කටුපිටි මාදම්පේ)
අතිදක්ෂ රණශූරයකු වූ මෙතුමා ගායන, වාදන. නර්තන විෂයෙහිත් අතිදක්ෂයකු බව සඳහන්. ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශය  කේන්ද්‍රකරගත් ප්‍රාදේශීය රජෙක් වුවත් මෙතුමාගේ රණශූරත්වය  රාජාවලිය, අලකේෂ්වර යුද්ධය වගේ ඓත්හාසික මූලාශ්‍රවලත් සඳහන් වී තිබේ. එමෙන් ම එතුමාගේ කලාකාමීත්වය ප්‍රාදේශීය ජනකතාවල මෙන් ම කංකාරි ප්‍රවාද හා වෙනත් ශාන්තිකර්ම මූලාශ්‍රවලත් සඳහන් වේ.
පිය රජුලේ මරණින් පසු ව, අගබිසවගේ පුතණුවන් නවවන ධර්ම පරාක්‍රමබාහු කෝට්ටේ රජ විය. මූලාශ්‍ර වලට අනුව, එම රජුගේ මරණින් පසුව කෝට්වේ රජකම සකලකලා වල්ලභ කුමරුට ලබා දීමට කෝට්ටේ රාජසභාව ගත් තීරණයකට අනුව උඩුගම්පොලට පැමිණි රාජසභා නියෝජිතයන් මහ පෙරහරින් කුමරු අගනුවරට කැඳවාගෙන ගිය ද එතුමා සිහසුන භාරගැනීම ප්‍රතික්ෂේප කළ බව කියැවේ. අගබිසවගේ පුත් විජයබාහු කුමරුට රාජ්‍යය පවරා දී ආපසු යාමට කුමරු තීරණය කලේ මන්ද යන්න ව්වාදාත්මක ය. (තමන් පිය රජුගේ පුතුන් පස්දෙනාගෙන් ම වැඩිමහල්ලා වුව ද, තමා අගබිසවගේ පුත්‍රයකු නොවීම, තම බිරිඳ රජක කුළ ස්ත්‍රියක විම (නීත්‍යානුකූල විවාහ වීමක තොරතුරු නැත) හා ඒ වන විට පැවැති දුර්වල සෞඛ්‍ය තත්වය ද මෙයට හේතු වන්නට ඇත.)
එතුමා කළාකාමියකු වාගේ ම, අතිදක්ෂ වාරි ඉන්ජිනේරුවෙකි. වෑගොව්ව, මිනුවන්ගොඩ හරහා යන කුඩා ඔය හරස්කර (අත්තනගලු ඔයේ ශාඛාවකි.) වේල්ලක් ඉඳිකර (අස්වාන් වේල්ල), වැවක් බැඳ (අස්වාන වැව)  රජුගේ මඟුල් පොකුණට ජලය ගෙන්වීය. මේ පොකුණ ආසියාවේ විශාලත ම දිය නාන පොකුණ ලෙස සැලකේ. රජුගේ ප්‍රධාන වාරි කර්මාන්තය ලෙස හඳුන් ගඟ වක්කලම නම් ස්ථානයේ පිහිටි වැලි කුඹුර වැව සැලකේ. මීට අමතර ව, නාගහ වැව, ගොඩ වැව, කොරස වැව මෙතුමාගේ නිර්මාණයන් ය. මේ සියල්ලට ම ජලය බෙදා හැර ඇත්තේ මාබොඳල වැව මඟිනි. එතැනින් නොනැවතී උඩුගම්පොළ රාජධානියට අයත් වුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත කියන ප්‍රදේශවලත් වාරි කර්මාන්ත මඟින් ජලය ලබාගෙන වී ගොවිතැන සාර්ථකව කරවන්න සකලකලා වල්ලභයක් කටයුතු කර තිබේ.

නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන

No comments:

Post a Comment