Monday, July 24, 2017

මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය

මැකුණු අතීතයක නොමැකෙන සිහිවටනයක් මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය (සටහන සහ ඡායාරූප – බර්ටි ලයනල් )

මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරය කේන්ද්‍රකොට පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයකි.

විහාර මන්දිරය ජනප්‍රවාදයනට අනුව මෙහි ඉතිහාසය කැලණිතිස්ස රජ සමය දක්වා දිවයයි. කැලණි මහා විහාරය ඉදිකර ඉතිරි වූ ගඩොලින් මෙම මහා සෑය ගොඩනැඟූ බවට මතයක් පවතී. 
ඒ අනුව මෙම ස්ථානය ‘පුංචි කැලණිය’ යන නමින් හඳුන්වා ඇති බවද පැවසේ. අලංකාර පිළිම වහන්සේ කැලණිතිස්ස රාජ්‍ය සමයේ දී එතුමාගේ බාල සොහොයුරු වූ උත්තිය කුමරු දැනට උඩුගම්පල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ මාළිගාගොඩැල්ල විහාරය පිහිටි ස්ථානයෙහි මාළිගාවක් කරවා ප්‍රාදේශීය රජෙකු වශයෙන් පාලනය කළ බව පැවසේ.
 මෙම මිනුවන්ගොඩ විහාරය එම රජතුමාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද්දක් බව පැරැණ්නන්ගේ තවත් මතයයි. මෙසේ පැවතගෙන එන ලදුව නැවත වරක් රාජ්‍යය හා බැඳුනු සිද්ධස්ථානයක් වශයෙන් පැහැදිලිව සටහන් වන්නේ කෝට්ටේ යුගයේදී ය. එම යුගයේදී කෝට්ටේ රජකළ 8 වන වීරපරාක්‍රමබාහු රජතුමාගේ පුතෙකු වූ සකල කලා වල්ලභ කුමරු තම ප්‍රදේශය බතින් බුලතින් ස්වයංපෝෂිත කරවීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව කියැවේ. ඒ වෙනුවෙන් කරන ලද වාරිකර්මාන්ත කිරීමේ දී අස්වාන වැවේ බැම්ම කීප වරක්ම යම් යම් හේතු නිසා, කැඩී බිඳී ගිය බවත් එයින් බලවත් සේ සිත් තැවුලෙන් යුතුව සිටි රජතුමා එම සැඩ පහරටම පැන දිවි හානි කරගෙන ඇති බව ඓතිහාසික පුවතකි. රජු එසේ ජීවිතය විනාශ කරගත් බව දැනගත් බිසෝවරුන් ද එම සැඩ පහරටම පැන දිවි තුරන් කරගත් බවට ද රජතුමා ඇතුලු බිසෝවරුන් පැළඳ සිටි රන් රිදී ආභරණ ගසාගෙන විත් ගොඩ ගැසුනු ස්ථානය ‘මිනිරුවන්ගොඩ’ ලෙසින් නම්කර පසුව ‘මිනුවන්ගොඩ’ ලෙසින් ප්‍රචලිත වී ඇත. එම මිණිරුවන් ආභරණ තැන්පත් කර මෙම සෑය නැවත වරක් ඉදිකරන ලදැයි පැවසේ. කාල වකවානු තීරණය කළ නොහැකි පෞරාණික බෝධීන් වහන්සේත් වරින් වර අලුත් වෙමින් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේත් මෙම ස්ථානයේ දීර්ඝ ඉතිහාසය පුරා පැවැති පූජ්‍ය වස්තූන්ය. වත්මන් විහාර සංවර්ධන කටයුතුවලදී අතීතයේ සිට පැවත ආ ටැම්පිට විහාරය ඉවත් කර එම ස්ථානයෙහිම නව විහාර මන්දිරය ගොඩනැංවීමට කටයුතු සලසා ඇත. පැරැණි විහාරය තුළ නිර්මාණය කර තිබූ පැරැණිම බුද්ධ ප්‍රතිමා වහන්සේද ආරක්‍ෂා වන පරිදි නව විහාරය ඉදිකර ඇත.


ඉපැරණි බෝධීන් වහන්සේ කැලණි රාජ්‍ය යුගයේ පටන් දහනවවන සියවසේ මධ්‍යභාගය දක්වා විහාරස්ථානයේ වැඩසිටි සංඝපීතෘවරුන් පිළිබඳ ජනප්‍රවාදයන්ගෙන් එන තොරතුරු හැරෙන්නට ලිඛිත සටහන් නැත. මහර මේධංකර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වූ නිල්පනාගොඩ ධම්මානන්ද, වල්පල ගුණරතන, මැඩෑමුල්ලේ පේමානන්ද යන හිමිවරුන් ආසන්න සිසු පරපුරක් වශයෙන් හැඳින්විය හැකි ය.


මෙහි ක්‍රියාත්මක වන ඉරු දින දහම් පාසල වන ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඉතා පැරණි කාලයේ සිට ක්‍රියාත්මක වේ. එහි ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ලෙසින් ක්‍රියාකාරී වී සිටින ආඩිඅම්බලම සරණතිස්ස පිරිවෙන් උප ප්‍රධානාචාර්ය මිනු/ශාසනාරක්‍ෂක බල මණ්ඩල ලේඛකාධිකාරී ශාස්ත්‍රපති හැවනතැන්නේ ශීලරතන හිමිපාණන් ඇතුලු ගුරුභවතුන් සිසු දරු දැරියන් 1500 ක් වෙනුවෙන්ම කැපවී සිටීම අගය කළ යුතු වේ. මෙම විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ හිතසුව පිණිස සිදුකර ඇති වැදගත් මෙහෙයයන් අතර මිනුවන්ගොඩ, රෝහල ඉදිකිරීම සඳහා භූමියත්, නාලන්දා බාලිකා විද්‍යාලය පවතින භූමියත්, දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා නීලකෙන්ද ඉඩමක් රජයට පරිත්‍යාග කිරීම මහත් සමාජ සත්ක්‍රියාවන් ය. යුග ගනනාවක සිහිවටනයක් වූ චෛත්‍යය වත්මන් විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ ගරු කළ යුතු සංඝපීතෘවරයෙකි. ඈත අතීතයේ වැඩ විසූ මහර මේධංකර නායක හිමිපාණන්, ගරා වැටුණු මහ සෑ රදුන් ප්‍රතිසංස්කරණය කර හාල්මිටවලින් තැනු පඩිපෙළක් මතින් ගොස් කොත් පැළඳූ බව කියැවේ. මෙලෙසින් ප්‍රතිසංස්කරණය කැර මහ සෑ රදුන් වසර 150ට පසු 1955 වසරේ දී මනා ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත්තේ චන්ද්‍රාලෝක හිමිපාණන්ගේ යුගයේ දී ය.

වසර දහසක සිට පැවත එන මෙවන් ශ්‍රේෂ්ඨ සිද්ධස්ථාන රැකගනිමින් වසර දෙදහස් තුන්සියයක දීර්ඝ හා අභිමානවත් ඉතිහාසයක් ඇති මෙරට බුදු සසුනෙහි අභිවෘද්ධිය වෙනුවෙන් තම යුතුකම ඉටු කරන මහා සඟ පරපුර ගෞරවයෙන් සිහිපත් කළ යුතු වේ. 


සටහන : මිනුවන්ගොඩ පුරාණ රජ මහා විහාරය පීළිබඳ මේ ලිපියේ අන්තර්ගතය මෙන් ම මෙහි එන සියලු ඡායාරූප ද මා හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදී බර්ටි ලයනල් මහත්මා විසින් 2011 පෙබරවාරි මස 02වන බදාදා බුදුසරණ පුවත්පතට ලියූ ලිපියකිනි. එතුමාට මෙන්ම  ලේක්හවුස් ආයතනයට ද අපගේ ප්‍රණාමය හිමි වේ. (නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන)

මුල් ලිපිය :
http://www.lakehouse.lk/budusarana/2011/02/02/tmp.asp?ID=temp01

Thursday, June 1, 2017

මිනුවන්ගොඩ උප නගරය : Minuwangoda Sub Town

(උපුටා ගැනීම http://minuwangoda.uc.gov.lk වෙබ් අඩවියෙනි, මුල් ලියුම්කරුට හා මිනුවන්ගොඩ නගර සභාවට අපගේ කෘතඥතාව හිම්වේ.)

මිනුවන්ගොඩ යනු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාම සේවා වසම් 126 ක් අයිති මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකි. 1976 ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් දිස්ත්‍රික්කයක් අනුමත වීමට ප්‍රථම මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උතුරු කොළඹටය. ඊටත් පෙර කාලයේ මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උඩුගම්පොළ රාජධානියටය. උඩුගම්පොළ රාජධානිය පාලනය වූයේ කෝට්ටේ රාජධානිය යටතේය.
අතීතයේ දී මිනුවන්ගොඩ අයත් වූ උඩුගම්පොල බල ප්‍රදේශය අදට වඩා විශාල බල ප්‍රදේශයක් විය. ඒ අනුව පුරාණයේ දී උඩුගම්පොළ රාජධානියේ එක් සීමාවක් අවසන් වී ඇත්තේ කැලණියෙනි. සියනෑ කෝරළය, අලුත්කූරු කෝරළය, හේවාගම් කෝරළය, හා සතර කෝරළය නැමති කෝරළ හතරම මෙම ප්‍රදේශයට යටත්ව තිබී ඇත. උතුරින් කැලණි ගඟ දක්වා ද දකුණින් මා ඔය දක්වා ද, බටහිරින් මහ මුහුද දක්වා ද නැගෙනහිරින් සබරගමුව දක්වා ද , මිනුවන්ගොඩ පාලනය වූ උඩුගම්පොළ රාජධානිය ව්‍යප්තව තිබූ බව පුරාණ ලේඛනවල සඳහන්ය.
එකල මෙම ප්‍රදේශය පාලනය කර ඇත්තේ 8 වන වීර පරාක්‍රමබාහු රජතුමන්ගේ පුතණුවන් වූ සකල කලා වල්ලභ රජු විසිනි.

“මිනුවන්ගොඩ” යැයි නමක් අතීතයේ දී තිබී නැත. මිනුවන්ගොඩ යැයි නම් ලැබී ඇත්තේ ක්‍රි.ව.1485 - 1505 කාලයේ ප්‍රථම වරට මිනුවන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ රජකම් කළ සකල කලා වල්ලභ රජතුමන් විසින් කුමරියන් සත්දෙනෙකු ඔයේ ගිල්වා මරා බිලි පූජාව තැබීම නිසාය.
උඩුගම්පොළ රාජධානිය කරමින් ප්‍රදේශයේ රජකම් කළ මේ රජතුමා යුද්ධයෙහි අති දක්ෂයෙකු වූ අතර එතුමා තැනූ පතහ පොකුණට අයත් වේල්ල වරින්වර කැඩී යාම නිසා ඉන් ප්‍රදේශය බේරා ගැනීමට නම් රූමත් කුමරියන් සත් දෙනෙකු ඔයට බිලි කළ යුතු බව රාජ සභාවේ දී ගත් තීරණයක් මත රජකුමරියන් සත් දෙනෙකු රන් අභරණින් සරසවා මිනුවන්ගොඩ ලෙස අද හඳුනන ප්‍රදේශයේ පිහිටි ඔය අසබඩට කැඳවා අවුත් කුමරියන් සත්දෙනා ඔයට බිලි කර දියේ ගිල්වා මරා මහා බිලි පූජාවක් පවත්වා ඇත. එම කුමරියන්ගේ ආභරණ පාවී ගොස් රැඳුන ස්ථානයට මිනිභරණගොඩ යැයි නම් තබා පසුව එය මිණිරුවන්ගොඩ නමින් ප්‍රසිද්ධ වී ඇත. අද මිනුවන්ගොඩ ලෙස හඳුන්වන්නේ මෙම කුමරියන්ගේ අභරණ ගොඩ ගැසූ ප්‍රදේශය වේ.

නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන

Wednesday, May 31, 2017

මම ගැන

මම නදීක තනුජය රම්‍යසිරි වි‍‍‍ජේරතන, ගම ගම්පහ. මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. විද්‍යාවේදී රසායන විද්‍යා උපාධිධාරියකු උනත්, සිංහලකම, අපේකම ගැන පුංචි කාලේ පටන් ම තියෙන කැක්කුම හින්ද ම, මගේ රට ගැන, අපේකම ගැන මගේ අදහස් ඔයාලා එක්ක  බෙදාගන්න කරන අහිංසක වෑයමක ප්‍රතිඵලය තමයි මේ.

I am Nadeeke Thanujaya, from Gampaha, Sri Lanka an old boy of Bandaranayaka College, Gampaha. Although I am a B.Sc (Chemisrty) graduate, this is a humble result of my suffer on my country, our heritages to exchange my views with you.

ඔයාලගෙ හොඳ නරක විවේචන වලින් මේ උත්සාහය ඔපමට්ටම් කරගන්න මට විශාල ශක්තියක් වේවි. (ලියන්න මට, uantr.aurora@gmail.com)
Your comments on this effort are highly appreciated, those will be a huge strength to me to sharpen my work. (e-mail, uantr.aurora@gmail.com)