(උපුටා ගැනීම http://minuwangoda.uc.gov.lk වෙබ් අඩවියෙනි, මුල් ලියුම්කරුට හා මිනුවන්ගොඩ නගර සභාවට අපගේ කෘතඥතාව හිම්වේ.)
මිනුවන්ගොඩ යනු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාම සේවා වසම් 126 ක් අයිති මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයකි. 1976 ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් දිස්ත්‍රික්කයක් අනුමත වීමට ප්‍රථම මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උතුරු කොළඹටය. ඊටත් පෙර කාලයේ මිනුවන්ගොඩ අයත්ව තිබුණේ උඩුගම්පොළ රාජධානියටය. උඩුගම්පොළ රාජධානිය පාලනය වූයේ කෝට්ටේ රාජධානිය යටතේය.
අතීතයේ දී මිනුවන්ගොඩ අයත් වූ උඩුගම්පොල බල ප්‍රදේශය අදට වඩා විශාල බල ප්‍රදේශයක් විය. ඒ අනුව පුරාණයේ දී උඩුගම්පොළ රාජධානියේ එක් සීමාවක් අවසන් වී ඇත්තේ කැලණියෙනි. සියනෑ කෝරළය, අලුත්කූරු කෝරළය, හේවාගම් කෝරළය, හා සතර කෝරළය නැමති කෝරළ හතරම මෙම ප්‍රදේශයට යටත්ව තිබී ඇත. උතුරින් කැලණි ගඟ දක්වා ද දකුණින් මා ඔය දක්වා ද, බටහිරින් මහ මුහුද දක්වා ද නැගෙනහිරින් සබරගමුව දක්වා ද , මිනුවන්ගොඩ පාලනය වූ උඩුගම්පොළ රාජධානිය ව්‍යප්තව තිබූ බව පුරාණ ලේඛනවල සඳහන්ය.
එකල මෙම ප්‍රදේශය පාලනය කර ඇත්තේ 8 වන වීර පරාක්‍රමබාහු රජතුමන්ගේ පුතණුවන් වූ සකල කලා වල්ලභ රජු විසිනි.
“මිනුවන්ගොඩ” යැයි නමක් අතීතයේ දී තිබී නැත. මිනුවන්ගොඩ යැයි නම් ලැබී ඇත්තේ ක්‍රි.ව.1485 - 1505 කාලයේ ප්‍රථම වරට මිනුවන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ රජකම් කළ සකල කලා වල්ලභ රජතුමන් විසින් කුමරියන් සත්දෙනෙකු ඔයේ ගිල්වා මරා බිලි පූජාව තැබීම නිසාය.
උඩුගම්පොළ රාජධානිය කරමින් ප්‍රදේශයේ රජකම් කළ මේ රජතුමා යුද්ධයෙහි අති දක්ෂයෙකු වූ අතර එතුමා තැනූ පතහ පොකුණට අයත් වේල්ල වරින්වර කැඩී යාම නිසා ඉන් ප්‍රදේශය බේරා ගැනීමට නම් රූමත් කුමරියන් සත් දෙනෙකු ඔයට බිලි කළ යුතු බව රාජ සභාවේ දී ගත් තීරණයක් මත රජකුමරියන් සත් දෙනෙකු රන් අභරණින් සරසවා මිනුවන්ගොඩ ලෙස අද හඳුනන ප්‍රදේශයේ පිහිටි ඔය අසබඩට කැඳවා අවුත් කුමරියන් සත්දෙනා ඔයට බිලි කර දියේ ගිල්වා මරා මහා බිලි පූජාවක් පවත්වා ඇත. එම කුමරියන්ගේ ආභරණ පාවී ගොස් රැඳුන ස්ථානයට මිනිභරණගොඩ යැයි නම් තබා පසුව එය මිණිරුවන්ගොඩ නමින් ප්‍රසිද්ධ වී ඇත. අද මිනුවන්ගොඩ ලෙස හඳුන්වන්නේ මෙම කුමරියන්ගේ අභරණ ගොඩ ගැසූ ප්‍රදේශය වේ.
නදීක තනුජය රම්‍යසිරි විජේරතන
නදීක තනුජය රම්‍යසිරි විජේරතන